ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකරන සහකාර වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි සමන්ත ප්‍රීති කුමාර මහතා ශ්‍රී ලංකා පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන කෘර වදහිංසා වලට ලක්කර ඝාතනය කිරීම තුලින් ඒ මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිකුරාදා (01) නිගමනය කළේය.
ඒ අනුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් රුපියල් ලක්ෂ 25 ක වන්දි මුදලක් සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ පාර්ශවයට ගෙවන ලෙස නියෝග කල ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව, වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණයක් බවත්වන ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කළේය. එයට අමතරව පුද්ගලයින් අත් අඩංගුවේදී මියයෑම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේෂ මාලාව අනුව කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට සුදුසු නිලධාරියෙකු පත් කිරීමටද මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නියෝග කර ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් 2025 අගෝස්තු 28 දිනට පෙර ලබාදෙන ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට වැඩි දුරටත් නියෝග කර ඇත.
මෙසේ වන්දි ගෙවන ලෙසට හා විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර ඇත්තේ සිද්ධියේ පළමු වගඋත්තරකරු කොළඹ - 01, පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තිලංක, පොලිස් සැරයන් බාලසූරිය (8824), පොලිස් කොස්තාපල්වරුන් වන කළුආරච්චි (9000), අභිශේක (93682), විකුම් ආරියසිංහ (83808), හේරත් (31996), තිලිණ මධුෂාන් (92447), සංජීව සම්පත් (61323) සහ උප පොලිස් පරීක්ෂක තිලෝක නුවන් යන පුද්ගලයින්ටය. මෙයින් පලමු වගඋත්තරකරුට රුපියල් ලක්ෂ 10 ක් 02-07 දක්වා වගඋත්තරකරුවන්ට රුපියල් ලක්ෂ 02 බැගින් හා 09 වන වගඋත්තරකරුට රුපියල් ලක්ෂයක් වන්දි ගෙවීමට මානව හිමිකම් කොමිෂන් සභාව නියෝග කර තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12, 13 (01), සහ 13 (04) යන අනු ව්‍යවස්ථාවන් මගින් සුරක්ෂිත කර තිබෙන මානව හිමිකම් පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් උල්ලංඝනය කිර තිබෙන බවත් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගයෙක් ප්‍රශ්ණ කිරීම සදහා රැගෙන යෑමට පෙර වැටලීම් බාර නිලධාරී දැනුවත් කරන ලෙසට 2747/2023 පොලිස්පති චක්‍රලේඛණයේ 5.1, 5.6 සහ 5.7 යන වගන්ති උල්ලංඝනය කර තිබෙන බවත් සමන්ත ප්‍රීතිකුමාර ඝාතනය සම්බන්ධයෙන් වූ මානව හිමිකම් කොමිෂන් සභා නියෝගයේ සදහන් වේ. මෙම වැටලීම් බාර නිලධාරී දැනුවත් නොකිරීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පිළිගෙන තිබෙන බවද වාර්තාව වැඩි දුරටත් සදහන් කර ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ල විභාගයේදී පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කර තිබුණේ හික්කඩුව, තෙල්වත්තේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම්කරුවෙකුද වන අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා (31) නොහොත් පොඩි ලැසීගේ මත්දව්‍ය, සමන්ත ප්‍රීතිකුමාර විසින් අලෙවි කරන බවට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලැබුණ බවත් ඒ අනුව අත් අඩංගුවට ගැනීම සිදුකරන ලද බවත්ය. අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මත්දව්‍ය හා රුපියල් 1,50,000/- ක මුදලක් ඔහු සන්තකයේ තිබුණ බවත් එම මුදල් මත්දව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් බවට විශ්වාස කල හැකි බවත්ය. එයින් පසුව සමන්ත ප්‍රීතිකුමාර නෙලුම් කුලුණ අසල පොලිස් බැරැක්කයට ගෙන ගිය බවත් ප්‍රශ්ණ කිරීමේදී පොලිස් නිලධාරීන්ට පහර දී පලායෑමට උත්සාහ කිරීමේදී ඇද වැටුණ බවත්ය. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල බවද පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කර තිබුණි.
සමන්ත ප්‍රීතිකුමාර මහතාට කෘර වදහිංසා පමුණුවා තිබෙන බවට ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වන අධිකරණ වෛද්‍ය වාර්තාවේ මියගිය අයගේ ශරීරයේ තුවාල 49 ක් තිබූ බවත් මොට ආයුධයකින් පහර දීමෙන් සිදු වූ බහු මෘදු පටක තුවාල වීමෙන් ඇති වූ රක්තපාත කම්පනය මරණයට හේතුව බවට සදහන් වන බවත් මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයට පෙන්වා දී තිබේ. පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණ තොරතුරක් මත අත් අඩංගුවට ගැනීම සිදුකල බව ප්‍රකාශ කලත් එවන් තොරතුරක් ලැබුණ පසු අනුගමනය කල යුතු නියාමන ක්‍රමවේදයන් පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය අනුගමනය කර නොමැති බවද මානව හිමිකම් කොමිෂන් සභාව සිය වාර්තාව මගින් ප්‍රකාශ කර තිබේ.
ඝාතනයට ලක් වූ සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ බිරිද වන ටී බී දිල්රුක්ෂී ප්‍රියදර්ශණී මහත්මිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පවත්වා තිබේ. කොළඹ, නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකරන සහකාර වරයෙකු ලෙස සේවය කරන ලද තම ස්වාමිපුරුෂයා 2023.01.10 දින ඉහත සදහන් වගඋත්තරකරුවන් විසින් අත් අඩංගුවට ගෙන නීති විරෝධීව රදවාගෙන කෘර වදහිංසාවට ලක්කර ඝාතනය කර තිබෙන බව පැමිණිල්ල මගින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
සමන්ත ප්‍රීතිකුමාර මහතා ඝාතනය කර තිබුණේ 2023.01.10 දින රාත්‍රියේය. වෘත්තීය පුහුණු අධිකාරියේ මානව සම්පත් හා පරිපාලන අංශයේ සේවය කල ඒ මහතා සිද්ධිය වූ දින දිවා ආහාරය මිළ දී ගැනීම සදහා කොළඔ, නාරාහේන්පිට පිහිටි ‘නිපුණතා පියස’ ගොඩනැගිල්ල ඉදිරිපස වෙළෙද සැලකට ගිය අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රමුඛ 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබිණ.
සමන්ත ප්‍රීති කුමාර මහතා අමාත්‍යාංශය අසල වෙළෙද සැලට ගොස් ඇත්තේ වෘත්තීය පුහුණු අධිකාරියේම තවත් නිලධාරියෙකුද සමගය. පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් පෙන්වා ඒ මහතා සිය ග්‍රහණයට ගෙන ජිප් රථයකට නංවා ගෙන තිබෙන අතර ඔහු සමග ගිය අනෙක් නිලධාරියාටද තර්ජනය කර බිය ගන්වා තිබුණි. පොලිස් නිලධාරීන්ද පැමිණි ඇති එම ජිප් රථයෙන්ම කොළඹ, මරදානේ පිහිටි නෙළුම් කුළුණ අසල පොලිස් බැරැක්කයට සමන්ත ප්‍රීති කුමාර මහතා රැගෙන ආ බවද පොලීසිය උපුටා දක්වමින් 2023.01.11 දින මාධ්‍ය වාර්තා කර තිබුණි.
සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ මල සිරුර කොළඔ, ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවට හික්කඩුව, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතාගේ ඥාතීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ 10 දින රාත්‍රී 11.30 ට පමණය. සමන්ත ප්‍රීති කුමාර මහතා ‘නිපුණතා පියස’ ගොඩනැගිල්ලේ තුන්වන මහලේ සේවයේ නිරතව සිටි තවත් නිලධාරියෙකු හමුවන්නටද එදින ප.ව 3.00 ට පමණ පැමිණ තිබේ. ඒ අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ප.ව 3.00 න් පසුව බවට අනුමාන කල හැකිය. රාත්‍රී 11.30 ට සිය ඥාතීන්ට දැනගන්නට ලැබී ඇත්නම් අවම වශයෙන් ඊට පැයකට පමණ පෙර ඔහු මිය යන්නට ඇතැයි සිතිය හැකිය. ඒ අනුව අත් අඩංගුවට ගෙන පැය 06 කට අඩු කාලයකදී ඔහුගේ මරණය සිදුව තිබෙන බව නිගමනය කල හැකිය. නමුත් ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ 10 දින ප.ව 4.00, 5.00 වන විටම ඔහුව ඝාතනය කර තිබෙන බවට තොරතුරු ලැබුණ බවයි. සිද්ධිය පිළිබදව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ සමන්ත ප්‍රීතිකුමාර මහතා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් හා රුපියල් 5000/- නෝට්ටු 21 ක් සොයා ගත් බවයි.
පොලීසිය හෙරොයින් කිලෝ ග්‍රෑම් 200, 300, 600, 700 සොයා ගත් අවස්ථාද ඉතිහාසයේ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවද ගැඹුරු මුහුදේදී මත් දව්‍ය විශාල වශයෙන් අත් අඩංගුවට ගෙන ඇත. එයට අමතරව පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම මත්දව්‍ය ජවාරමේ නිරතව සිටියදී මත් දව්‍ය විශාල තොගයන් සමගම අත් අඩංගුවට ගෙන ඇත. පොට්ට නවුෆර් නම් මත් දව්‍ය ජවාරම්කරුවා බන්ධනාගාරගත වූයේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙනි. මොවුන් කිසිවෙක් පහරදී ඝාතනය කරන්නට පොලීසිය පෙළඹුනේ නැත. සමන්ත ප්‍රීතිකුමාර මහතා සතුව මත් දව්‍ය හා මුදල් තිබුණේ යැයි කියන්නේද පොලීසියමය. මුදල් තිබුණා යැයි පවසමින් පොලීසිය නොකියා කියන්නේ එම මුදල් මත් දව්‍ය ජාවාරමෙන් ලැබුණ ඒවා බවය. නමුත් මෙම හෙරොයින් ග්‍රෑම් 15 හා මුදල් සමන්ත මහතා ලග තිබුණා යැයි හෝ නොතිබුණා යැයි කීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් අත් අඩංගුවට ගෙන පැය කිහිපයක් තුල යමෙක් ඝාතනය කරන්නට හෙරොයින් ග්‍රෑම් 15 ක් තිබීම ප්‍රමාණවත්ද? යන ගැටළුව සහ පොලීසියට එසේ කල හැකිද? යන්න නීතියේ අවධානයට ලක් විය යුතුය.
පොලීසිය යමෙක් ඝාතනය කල විට පොලීසිය විසින් කියන කතා මාධ්‍යයට අරුම පුදුම දේවල් නොවන බවද ලියුම්කරු දනී. ආයුධ පෙන්නන්නට රැගෙන ගියා, එම ආයුධයක් රැගෙන පොලීසියට වෙඩි තියන්නට උත්සාහ කළා. පොලිස් ප්‍රති ප්‍රහාරයෙන් මියගියා, යන කරුණු පොලිස් වෙඩි පහරින් මියගිය බොහෝ අය සම්බන්ධයෙන් අසන්නට ඇත. සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධූෂ්, ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ආදීන් සම්බන්ධයෙන් තදබල විරෝධයක් මෙවන් සිද්ධීන් වලදී පොලීසියට එල්ල නොවීම තේරුම් ගැනීමද අපහසු නැත. නමුත් සමන්ත ප්‍රීති කුමාර මේ ඝනයෙහි ලා සැලකිය හැකිද? යන ගැටළුව සමාජය ඉදිරියේ පවතී.
සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ කොළඹ, ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාය. ඒ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුවය. මොට ආයුධවලින් පහරදීම හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව අජිත් තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් කර තිබේ. සමන්ත ප්‍රීති කුමාර මහතාගේ ශරීර අභ්‍යන්තරයේ තුවාල 40 කට අධික ප්‍රමාණයක් තිබෙන බවද පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සදහන් කර ඇත. ශරීරයේ බොහෝ ස්ථාන වල තැලීම් ඇති බවත් තැලීම් ඇති වීම සදහා කරන ලද පහරදීම් ප්‍රබල ආයාසයකින් කරන ලද ඒවා බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවේ සදහන් කර ඇත. එයට අමතරව ඔහුගේ යම් යම් අවයම කොටස් කඩා තිබෙන බවද පශ්චාත් ප්‍රදේශයෙන් පවා අධික ලෙස ලේ වහනය වෙමින් තිබූ බවද කොළඔ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට යාබදව පිහිටි කොළඔ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට සම්බන්ධ ආරංචි මාර්ග එකල සදහන් කළේය. පශ්චාත් ප්‍රදේශයෙන් රුධිරය වහනය වන්නේ ඊට රළු යමක් ඇතුල් කිරීමෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ මතය වී තිබිණ.
නමුත් මෙම මරණය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ කර තිබුණේ අත් අඩංගුවට ගැනීමෙන් පසු සමන්ත ප්‍රීතිකුමාර මහතා පොලිස් බැරැක්කයට ගෙන ප්‍රශ්ණ කරමින් සිටියදී බීමට ජලය ඉල්ලූ බවත් ජලය දුන් විට එම වීදුරු බෝතලය කඩා පොලිස් නිලධාරියෙකුට පහර දුන් බවත්ය. එවිට පොලිස් නිලධාරීන් සමන්ත මහතාගේ දෙකකුල් වලට පොල්ලකින් පහර දුන් බවත් එවිට ඇද වැටුණ බවත් පොලීසිය ප්‍රකාශ කර තිබුණි. ඇද වැටීමෙන් සිහිසුන් වූ සමන්ත ප්‍රීති කුමාර මහතා ඒ නිසාම කොළඹ, ජාතික රෝහලට ඇතුලත් කල බවත් එහිදී ඔහු මියගොස් ඇති බවත්ය.
ජලය බොහෝ විට භාවිතා කරන්නේ වීදුරු බෝතල වලද, එසේත් නොමැති නම් ප්ලාස්ටික් බෝතල වලද යන ගැටළුව පැන නගී. ප්ලාස්ටික් බෝතල නැවත නැවත භාවිතා කිරීම සෞඛ්‍යයට අහිතකර බැවින් ඇතැම් අය පානීය ජලය වීදුරු බෝතල වල බහා තබා ගැනීම සිදුකරයි. පොලීසියට අනුව සමන්ත ප්‍රීති කුමාර මහතා අපරාධකාරයෙක් වන අතර අපරාධකාරයන්ට පවා මෙසේ ලෙඩරෝග වැලදීම වලක්වා ගැනීමට හැකිවන පරිදි බීමට ජලය වීදුරු බෝතල වල බහා ලබා දීමට තරම් පොලීසිය කාරුණිකද යන්න ලෙහෙසියෙන් බැහැර කල නොහැකිය.
සමන්ත ප්‍රීති කුමාර මහතා අත් අඩංගුවට ගන්නා ලද්දේ උපාය දූතයන් ලබාදුන් තොරතුරකට අනුව බවද පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය කියයි. උපාය දූතයන් යම් තොරතුරක් ලබාදුන් විට පොලීසිය ඒ ඔස්සේ විමර්ශණ සිදු කිරීම අනිවාර්යය අවශ්‍යතාවයකි. එම විමර්ශණ දිගු කාලීනව කල යුතුය. එසේත් නොමැති නම් මත්දව්‍ය වලට සම්බන්ධ යමෙක් විශාල මත්දව්‍ය තොගයක්ද සමග අත් අඩංගුවට ගත යුතුය. එය ග්‍රෑම් 15 ක් තරමේ ප්‍රමාණයක් විය හැකිද?. ග්‍රෑම් 05 කට වැඩි ප්‍රමාණයක් සමග අත් අඩංගුවට පත් වූවන්ට ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් බවද ලියුම්කරු දනී. ඒ අනුව ග්‍රෑම් 15 ක් යනු විශාල මත් දව්‍ය ප්‍රමාණයක් බව සැබෑ වුවත් මෙරට කුඩු ජාවාරම්කරුවන් අත් අඩංගුවට පත් වන්නේ කිලෝ ග්‍රෑම් 300, 400, 700 වැනි ප්‍රමාණයන් සමග බවද අමතක නොකල යුතුය. සමන්ත ප්‍රීති කුමාර මහතා අත් අඩංගුවට ගන්නා ලද්දේ සැබෑ ලෙසම හෙරොයින් සම්බන්ධයෙන් නම්, ඔහු සම්බන්ධයෙන් වූ විමර්ශණ ලිපි ගොනුවක් පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය සතුව තිබිය යුතුය. නමුත් එවන් ලිපි ගොනුවක් ඝාතන සිද්ධියට අදාල විමර්ශණ කණ්ඩායම් වෙත පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය මගින් මෙතෙක් යොමුකර ඇති බවක්ද දැනගන්නට නැත.
උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 05 දෙනෙකුගෙන් යුක්ත පොලිස් කණ්ඩායමක් විසින් සමන්ත ප්‍රීති කුමාර මහතා අත් අඩංගුවට ගෙන තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබුණි. උප පොලිස් පරීක්ෂකවරයෙක් යනු පොලිස් දෙපාර්තමේන්තුවේ පහලම මට්ටමේ පරීක්ෂක නිලධාරියාය. නෙළුම් කුළුණ පරිශ්‍රයේ පොලිස් බැරැක්කය තුල සියළු තීන්දු ගෙන ඇත්තේ මෙම උප පොලිස් පරීක්ෂකවරයා විසිනි. සැකකරුවෙකුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු පහර දීමේ තීන්දුවක් උප පොලිස් පරීක්ෂකවරයෙකුට ගත හැකිද? යන ප්‍රශ්ණයට පොලීසිය මෙතෙක් පිළිතුරක් ලබා දී නැත. මත් දව්‍ය සම්බන්ධයෙන් බරපතල ගනයේ ජාවාරම් කරුවෙකු අත් අඩංගුවට ගැනීමේ පරිද්දෙන් සමන්ත ප්‍රීතිකුමාර මහතා අත් අඩංගුවට ගත්තේ නම් අවම වශයෙන් ඔහු සහකාර පොලිස් අධිකාරිවරයෙක් හමුවට හෝ පමුණුවා නැත්තේ ඇයිද? යන ගැටළුව ඒ මහතාගේ ඥාතීන්ට ඇති විමද නොවැලැක්විය හැකිය. සමන්ත ප්‍රීති කුමාර මහතාගේ මරණය සිදුව ඇත්තේ පොලීසිය ප්‍රකාශ කරන පදිරි රෝහල් ගත කිරීමෙන් පසුවද යන්න සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂයෙන් තහවුරු වී නැත. එසේත් නොමැති නම් මිය යෑමෙන් පසු රෝහලට ඇතුලත් කලාද යන්න සොයා බැලිය යුතුය. ඒ මහතා රෝහලට බාර දී ඇත්තේ අත් අඩංගුවට ගත් අයෙක් ලෙසද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැත. නාදුනන මල සිරුරක් රෝහලට බාර දී ඇති බවට එකල වූ ප්‍රචාරයට සාධාරණත්වයක්ද මෙතෙක් ඉටු වී නැත.
මත් දව්‍ය ජාලයට සම්බන්ධ අනෙක් අය ගැන පොලිස් බැරැක්කයේදී සමන්ත ප්‍රීතිකුමාර මහතාගෙන් ප්‍රශ්ණ කර ඇති බවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා එකල ප්‍රකාශ කර තිබුණි. එම අවස්ථාවේදී ඒ මහතා ආවේගශිලීව හැසිරී තිබෙන බවත් එහිදී ඇති වූ සිදුවීමක් නිසා සැකකරු ජාතික රෝහලට ඇතුළත් කෙරුණ බවත් පවසා ඇති නිහාල් තල්දූව මහතා එහිදී සැකකරු මියගිය බවට වාර්තා වූ බවද ප්‍රකාශ කර තිබුණි. නිහාල් තල්දූව මහතාට අනුව සමන්ත ප්‍රීතිකුමාර මහතා රෝහල් ගතකර ඇත්තේ පොලිස් බැරැක්කයේදී ඇති වූ සිදු වීමක් හේතුවෙන් බව පැහැදිලිය. නමුත් ඔහුගේ ප්‍රකාශයේ සැහැල්ලු බව කියා පාන්නේ බැරැක්කයේ සිද්ධිය සුළු සිද්ධියක් බවය. පශ්චාත් මරණ පරීක්ෂණයේ තුවාල 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතිවන පරිද්දෙන් ආයාසයෙන් පහර දීමේ සිද්ධියක් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සුළුවෙන් තක්සේරු කර තිබූ බවද මේ අනුව පැහැදිලිය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ කරුණු අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර තිබේද? යන්න සම්බන්ධයෙන් පොලීසිය වෙනමම පරික්ෂණයක් සිදුකරන බවත් මෙහිදී ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කර තිබුණි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ පවුලේ ඥාතීන් තුල ඇතිව තිබෙන බරපතල සැකය දුරු කිරීමද පොලීසියේම වග කීමක් වන බවද කිව යුතුය. ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙම ප්‍රකාශය පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත එල්ල වී ඇති බරපතල විරෝධය අනියමින් සමනය කර ගැනීමේ අරමුණින් කරන ලද්දක්ය යන සැකය දුරු වන පරිද්දෙන් ඉදිරි පරික්ෂණ පැවැත්වීමේ වගකීමෙන්ද පොලීසියට නිදහස් විය නොහැකිය. නමුත් එවන් පරීක්ෂණයක් සිදුකල බවක් මෙතෙක් අනාවරණය වි නැත.
සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධයෙන්ද ඔහුගේ ඥාතීන්ගේ ප්‍රසාදයක් නොමැති වීමද පෙන්වා දීමට කැමැත්තෙමි. සමන්ත මහතාගේ සහෝදරයා වන රුවන් කුමාර මහතා ප්‍රකාශ කරන්නේ මෙම පරීක්ෂණ මන්දගාමීව සිදුවන බවයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා කෙරෙහි සිය පවුල බලවත් විශ්වාසය තබා තිබෙන බවද රුවන් කුමාර මහතා සදහන් කළේය. සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ මව සදහන් කරන්නේද තම පුතා වරදක් කර තිබුණේ නම් නීතිය හමුවට පැමිණවිය හැකිව තිබූ බවයි. ගහල මරන්න පොලීසියට ඇති අයිතිය කුමක්ද? යන්න ඇය රටේ බලධාරීන්ගෙන් ප්‍රශ්ණ කරයි. ආරක්ෂක බලධාරීන් ඊට මෙතෙක් පිළිතුරු දී නැත.
අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා (30) නොහොත් දකුණේ පාතාලයේ පොඩි ලැසී නමින් හදුන්වන අයගේ උපන් ගම් ප්‍රදේශය වන්නේද හික්කඩුව, තෙල්වත්තයි. සමන්ත ප්‍රීතිකුමාර මහතාගේද ගම් ප්‍රදේශය තෙල්වත්තයි. දකුණේ පාතාලයේ මෙන්ම දිවයිනේ නම ගිය හෙරොයින් ජාවාරම් කරුවෙකු වන පොඩි ලැසීගේ ගම් ප්‍රදේශයේ උපන් පමණින් සමන්ත ප්‍රීතිකුමාර මහතාත් කුඩු ජාවාරම් කරුවකු ලෙස හංවඩු ගැසීම සාධාරණද යන සැකය මතු වේ. මෙම උත්සාහය තෙල්වත්තේ උපන් උගත් බුද්ධිමත් බොහෝ අයට කරන අසාධාරණයකි. 100% ක් තහවුරු කරන ලද සාක්ෂි නොමැතිව සැකය මත පමනක් පදනම්ව හෝ සිදු වූ යමක් සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ අරමුණින් මෙවන් ප්‍රකාශයක් කිරීම, පොදු මහජනතාව කිසිසේත් පොලීසියෙන් බලාපොරොත්තු වන්නක් නොවේ. පොඩි ලැසී පාතාලය වෙත යොමු වීම මත ඇත්තේද ඔහුගේ පවුලේ පෞද්ගලික ප්‍රශ්ණයකි. පොඩිලැසීගේ පියා වූ අරුමාදුර වසන්ත ද සිල්වාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙයට ලෙයින් පලිගැනීමේ සිද්ධියක් මීට හේතු වී තිබෙන බව ඊට අදාල පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්, පොඩි ලැසී විසින් වෙඩිතබා ඝාතනය කරන්නේද මේ ලෙයට ලෙයින් පලිගැනීමේ වුවමණාව නිසාමය.
මත්දව්‍ය ජාවාරම්කරුවන් ගෙවන සුඛෝපභෝගී ජීවිත සම්බන්ධයෙන්ද මෙහිදී නීති අංශ වල අවධානය යොමු විය යුතුය. මත්දව්‍ය ජාවාරම්කරුවන්ගේ නිවාස මන්දිර බදුය. ඔවුන් ගමන් කරන්නේ බීඑම්ඩබ්ලිව්,බෙන්ස්, හමර්, ඩිපෙන්ඩර් වැනි අති සුඛෝපභොගී වාහන වලය. ඔවුන්ට නිල නොලත් ආරක්ෂකයින්ද බොහෝය. නමුත් සමන්ත ප්‍රිතිකුමාර මහතා දිනපතා කොළඹ රැකියාවට ආවේ ගියේ දුම්රියෙනි. තෙල්වත්තෙන් දුම්රියට ගොඩවන ඔහු අළුත්ගම, කළුතර වැනි දුරක් දක්වා ගමන් කරන්නේද හිටගෙනය. සවසට සාගරිකා දුම්රියේ ගමන් කරන්නේ ඩහදිය පෙරාගෙනය. මත්දව්‍ය ජාවාරම් කරුවන් මෙවන් ජීවිතයක් ගත කරාවිද? යන සැකයටද සාධාරණයක් ඉටුවිය යුතුය.
සමන්ත මහතාගේ නිවසද සාමාන්‍ය අකාරයේ එකකි. කුඩා කොටසක් දෙහල් ආකාරයට සකසා ඇත. මධ්‍යම පාන්තිකයින් 90% කට පමණ මෙවන් නිවාස ඇත. සමන්ත මහතාගේ බිරිදද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරයි. අරපිරිමැස්මෙන් හෙබි පවුලකට දෙදෙනාගේ වැටුපෙන් අවුරුදු 10 ක 15 ක කාලයකදී මෙවන් නිවසක් ඉදිකර ගැනීම අපහසු නැත. ඔහුගේ නිවස පිහිටා තිබෙන්නේද සිය දෙමාපියන්ගෙන් ලැබුණ තවමත් බෙදා වෙන් නොකරන ලද භූමි කොටසකය. රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වන ඔහුගේ සහෝදරයා පදිංචිව සිටින්නේද මෙම භූම්යේම පිහිටි මහ ගෙදරය. තවද 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සමන්ත මහතාගේ දියණිය යන්නේද අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයටය. අවම වශයෙන් ඔහුට දියණිය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පවා ඇතුලත් කර ගැනීමට නොහැකි වි ඇත. 2023 පළමු වසරට ඇතුලත් කිරීමට නියමිත ඔහුගේ පුතා සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් වී ඇත්තේද අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයටය. සාමාන්‍යයෙන් 5000/- කොල 20 ක් 21 දිනපතා සාක්කුවේ තිබෙන අයෙකුගේ පෞද්ගලික ජීවිතය මේ ආකාර විය හැකිද?
සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ අවසන් කටයුතු 2023.01.14 දින පසුවරුවේ තෙල්වත්තේදී සිදු කෙරුණි. එහිදී අනුශාසනාවක් කරමින් හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මීවනපානේ ධම්මරතන හිමියෝ මෙසේ ප්‍රකාශ කර තිබුණි.
මරණය හා මැරීම යන්න කරුණු දෙකක්. මෙය සංවේදී මරණයක්. රටේ නීතියක් නැහැ. සමහර පොලිස් කාරයන් විතරක් නෙවෙයි, පොලිස් ලොක්කන්ගෙ ගෙවල් වලත් කූඩු තියෙනවා කියල මාධ්‍ය වාර්තා කරනවා. පොලිස් අධිකාරීවරුන්ගේ නිල නිවාස වල වහලේ ගංජා මිටි හංගගෙන විකුණනවා. ඒත් අහිංසක මිනිසුන් අල්ලගෙන ගිහින් ගහලා වද දීලා මරනවා. මෙය බරපතළ තත්ත්වයක්. ගහලා මරන්න පොලිසියට නීතියක් නැහැ. දඬුවම් දෙන්න උසාවි තියෙනවා. පොලීසියට ඕන ඕන විදියට ගහල ඔලු පලන්න මරන්න රටේ නීතියක් තියෙනවා ද කියලා අපි අහනවා.
මේ අයගෙ බිරිඳ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැදගත් රැකියාවක් කරන කෙනෙක්. අනෙක් අයත් එහෙමයි. දරුවො දහම් පාසලට යන්නේ කොහොමද?. එක රැයින් තමන්ගේ තාත්තා කුඩුකාරයෙක් කරලා. මේවා සහගහන අපරාධ. අද දරු පවුලක් අනාථ කරල, විතරක් නෙවෙයි, ඒ අයට පාරේ තොටේ යන්නත් අවස්ථාවක් නැති කරලයි තියෙන්නෙ. මේවාට නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි. මේ මරණයෙ ගැන පොලිසිය සඳහන් කරන්නේ ප්‍රීති කුමාර තරුණයා කුඩුකාරයෙක් පාතාලයෙක් විදිහටයි. එනිසා දරුවන්ට පියා නැති වේදනාවට වඩා වේදනාවක් ඇති වෙනවා. පාසල් යන්න දහම් පාසලට යන්න බැරිවෙලා තියනවා. පසුගිය දවස් වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙ වහලෙ සිවිලිමේ තිබිලා තමයි, ගංජා මිටි පිටින් එළියට ආවේ. ඒක තමයි ඇත්ත. රටේ ඇතැම් ජනමාධ්‍ය හරි හැටි තොරතුරු නොදැන පොලිසිය කියන කියන දේ ලියලා ජීවත් වෙනවා. මිනිස්සු නොමරා මරනවා. සත්‍යය පිළිබඳ සොයල වාර්තා කරන්න කියල ඒ අයට අපි කියනවා. මරණය පොළොවට යනවා. ඉන්න මිනිසුන් ජීවත් විය යුතුයි. අද ඒ අයටත් ජීවිතය අහිමි කරලා යැයිද මීවනපානේ ධම්මරතන හිමියෝ මෙසේ ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් පරීක්ෂකවරයෙක් වූ නියෝජ්‍ය පොලිස් පති රවී සෙනෙවිරත්න මහතා 2023 දී බීබීසී පුවත් සේවයට පවසා තිබුණි. ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා එකල වැඩි දුරටත් කියා තිබුණි. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු පොලිස් ප්‍රධානියා 2023 දී ඒ බව කියා තිබුණේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට එල්ලවන චෝදනා පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමිනි. මේ වන විට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පොලීසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාය. 2023 දී තමන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා හෝ පොලීසිය අවධානය යොමුකල බවක් පෙනෙන්නටද නැත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ‘පොඩි ලැසී’ නමැත්තා අත් අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන්ට ලබා දෙන මත්ද්‍රව්‍ය කලාප අනුව වර්ග කර විවිධ වර්ණයන් යොදා ගනිමින් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළී වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ප්‍රකාශ කර තිබුණි. අම්බලන්ගොඩ ප්‍රදේශය වෙත බෙදාහරිනු ලබන හෙරොයින් නිල් පැහැයෙන් ද ගාල්ල ප්‍රදේශය වෙත බෙදාහරිනු ලබන හෙරොයින් කොළ පැහැයෙන් ද සහ වැලිගම ප්‍රදේශය වෙත බෙදාහරිනු ලබන හෙරොයින් කලු පැහැයෙන් ද යුක්ත දවටනවල ඔතා මෙම බෙදාහැරීම සිදුකර ඇති බවද දිලීප පීරිස් මහතා පෙන්වා දී තිබුණි. ජාවාරම්කරුවන් සිදුකරන මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබුණ අතර මෙම කරුණු ලෙහෙසියෙන් බැහැර කල හැකි කාරණාද නොවේ.
අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ලියුම්කරුගේ මතයක් ප්‍රකාශ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. පොලීසියේ මුලික අරමුණ විය යුත්තේ සාමය ආරක්ෂා කරමින් අපරාධ වළක්වා ගැනීමට ක්‍රියා කිරීම මිස යමෙකු අපරාධකරුවකු යන්න නිගමනය කිරීමේ හැකියාවක් පොලීසියට නැත. පොලීසිය පිළිබදව ජනතාව තුළ පවතින ආකල්පය වෙනස් විය යුතු අතර පොලීසිය හා ජනතාව අතර විශ්වාසය ඇති කිරීම අපරාධකරුවන් පිළිබදව නිවැරදි තොරතුරු ලබා ගැනීමට පහසුවක්ද වේ. ජනතාවගේ ආරක්ෂාව ඇති කිරීමේ ප්‍රධානතම ආයතනය ලෙස පොලීසිය මුලික මිනිස් අයිතීන් ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතුය. ඒ බව උසස් පොලිස් නිලධාරීන් අනෙකුත් පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කල යුතු අතර සමීප අධීක්ෂණයටද ලක්කල යුතුය.
මේ අනුව සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවතත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කල යුතු බව ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ අදහස වි තිබේ. මක් නිසාද යත් යමෙකුගේ ඝාතනයක් රුපියල් ලක්ෂ 25 කින් තක්සේරු කල නොහැකි නිසාය. කෙසේ වුවත් මානව හිමිකම් කොමිෂන් සභාව සිය තීන්දුවක් වෙනුවෙන් ඉතිහාසයේ ලබාදුන් වැඩිම වන්දි මුදල වන්නේද මේ රුපියල් ලක්ෂ 25 ය. එම නිසා මෙම ඝාතනයට මහාධිකරණයේ හෝ ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අවශ්‍යයය.
.jpg)
Lanka Newsweek © 2026